ඉතිහාසය

1963 දී ව.කි.මී 5 කට පමණ සීමා වී සුළු නගර සභා ප්‍රදේශයක් ලෙස පැවතුන මෙම පළාත් පාලන ආයතනය 1988 වර්ෂයේදී ව.කි.මී 21 ක විශාල ප්‍රදේශයක් බවට පුළුල් වී ප්‍රාදේශීය සභාවක් බවට පත්විය.

2002 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එවකට ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාව සිටි ඇලික් අළුවිහාරේ මැතිතුමා විසින් “මහරගම නගර සභාව“ යන නිල නාමය නියම කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ 41 කින් සමන්විත භූමි ප්‍රදේශය නගරයක් විය යුතු බවත්, එහි දක්වා ඇති සීමා පරිපාලන සීමා ලෙසත් නම්කර ඇත. 2002 අප්‍රේල් 15 දින මහරගම නගර සභවේ නිල කාලය ආරම්භ විය.

බස්නාහිර පළාතෙහි කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති මහරගම නගර සභා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 39.4 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර උතුරින් හා වයඹ දිගින් කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයෙන් සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද නැගෙනහිරින් හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද දකුණින් කැසබෑව නගර සභා බල ප්‍රදේශයෙන්ද බටහිරින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද මායිම්ව ස්ථානගත වී ඇත.

කොළඹ නගරයේ සිට කි.මී16ක් ගිනිකොණ දෙසින් මහරගම නගර සභා බල ප්‍රදේශය පිහිටා තිබෙන අතර ජනගහනය හා භෞතික වර්ධනය අතින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. නගරය හරහා දිවෙන හයිලෙවල් මාර්ගය මගින් කොළඹ අග නගරය මෙන්ම සබරගමුව, ඌව වැනි පළාත් හා ප්‍රධාන නගරද සම්බන්ධීකරණය කරනු ලබයි.

2021 වර්ෂය වන විට අපේක්ෂිත ජනගහනය 253,047 වන අතර, මෙම නගරය අධි ජන ඝනත්වයකින් යුතු වාණිජ මධ්‍යස්ථානයක් හා ප්‍රධාන නේවාසික නගරයක් ලෙස හඳුනාගෙ ඇත.2014 වර්ෂයේ ජනගහනය 202,557 ක් වන අතර වරිපනම් අය කරන දේපල සංඛ්‍යාව 77,740 ක් වේ.

අප පළාත් පාලන ආයතනයේ වගකීම් හා කාර්යභාරය වන්නේ ජනතා තෘප්තියට හේතුවන උපරිම මට්ටමේ සේවාවක් සපයා දීමය. තුලනාත්මක හා ධරණීය සංවර්ධනයක් මගින් ප්‍රාදේශීය ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා වු අපේක්ෂාවන් ලඟා කරදීමට හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා ද අවශ්‍ය වන්නා වු යටිතල පහසුකම් සපයා දීම මගින් අපගේ ජනතාවගේ ජීවන තත්වය හා ඔවුන්ගේ භෞතික වටපිටාවද වර්ධනය කරලීම අපගේ අභිමතාර්ථය වන්නේය